පාසල් පද්ධතිය තුළ ලිංගික අනුමැතිය සහ එකඟතාව පිළිබඳ ලබාදෙන අධ්‍යාපනය (consent education) මගින් පිරිමි ළමයින්ට එරෙහි මතවාද ව්‍යාප්ත වන බවට Nationals නායක Matt Canavan කළ ප්‍රකාශයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ Coalition විපක්ෂ සන්ධානය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

නියෝජ්‍ය විපක්ෂ නායිකා Jane Hume එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ලිංගික අනුමැතිය පිළිබඳ අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කළ අතර, විපක්ෂ නායක Angus Taylor ද පසුව සඳහන් කළේ මෙම අධ්‍යාපනය පාසල් තුළ ලබාදීම වැදගත් බවයි. කෙසේවෙතත්, ආණ්ඩුපක්ෂයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සහ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ගැහැණු ළමයින්ට ගරු කිරීම සහ ලිංගික අනුමැතිය පිළිබඳ උගන්වීම කිසිසේත්ම පිරිමි ළමයින්ට එරෙහි වීමක් නොවන බවයි.

පාසල් සිසුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් එල්ල වූ ලිංගික චෝදනා කිහිපයක් මුල් කරගනිමින් NSW ප්‍රාන්තය තුළ හදිසි සාකච්ඡාවක් ද කැඳවා ඇති අතර, තරුණයින් මෝහනයට ලක්කරන සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති බලපෑම පාලනය කිරීමට පියවර ගත යුතු බවයි විශේෂඥයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.