මෙවර පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, Victoria හි පවතින ගල්අඟුරු විදුලි බලාගාර ඉක්මනින් වසා දැමීමට කටයුතු නොකරන බව Victorian Coalition සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.
Latrobe Valley හි පිහිටි Yallourn, Loy Yang A සහ B වැනි ගල්අඟුරු බලාගාර දීර්ඝ කාලයක් සක්‍රියව තබාගැනීමට සැලසුම් කර ඇති බවයි Morwell හි ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Martin Cameron සඳහන් කළේ. Yallourn බලාගාරය 2028 වසරේදී වසා දැමීමත් සමඟ ප්‍රාන්තය තුළ විදුලි හිඟයක් ඇතිවිය හැකි බවට එල්ල වන අනතුරු ඇඟවීම් හමුවේ, විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු කියා සිටියා.
කෙසේ වෙතත්, Yallourn බලාගාරය 2028 දීත්, Loy Yang A බලාගාරය 2035 දීත් වසා දැමීමේ පූර්ව සැලසුම් එලෙසම ක්‍රියාත්මක වන බවයි අදාළ සමාගම් පවසන්නේ. එමෙන්ම, විදුලිය හිඟයකින් තොරව ලබාදීමට ඇති ලාභදායී සහ විශ්වාසදායී මාර්ගය පුනර්ජනනීය බලශක්තිය බව පවසමින් Victoria ප්‍රාන්ත රජය Coalition හි මෙම යෝජනාව විවේචනය කර තිබෙනවා.



