ඕස්ට්‍රේලියානු වැසියන්ට මෙතෙක් නොමිලේ ලබා දුන් කොවිඩ් එන්නත ඉදිරියේදී මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවන බව වාර්තා වනවා. ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් එන්නත්කරණය එරට ජාතික එන්නත්කරණ වැඩසටහන වෙත යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.
නව සංශෝධනවලට අනුව නොමිලේ එන්නත හිමිවන්නේ කොවිඩ් අවදානම ඉහළ මට්ටමක පවතින පුද්ගලයන්ට පමණයි. සසුසුකම් නොලබන අනෙකුත් පිරිස් පෞද්ගලික වෙළඳපොළෙන් මුදල් ගෙවා එන්නත් ලබා ගත යුතු වනවා.
කෙසේ වෙතත්, පෞද්ගලිකව ලබා ගන්නා එන්නතක මිල ගණන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. ක්ෂේත්රයේ විශේෂඥයින් පෙන්වා දෙන්නේ එන්නතක් සඳහා ඩොලර් 30 ත් 80 ත් අතර මුදලක් වැය වනු ඇති බවයි. ඖෂධ අලෙවිසැල් මගින් පාරිභෝගිකයන් වෙත මෙම එන්නත් අලෙවි කිරීමට නියමිතයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයන්ට තවදුරටත් කොවිඩ් එන්නත වැදගත් වන අතර, මුදල් අය කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවයි.
වෛරසය පැතිර යාමේ හදිසි අවස්ථා පහව ගොස් සමාජය තුළ ප්‍රතිශක්තිය ගොඩනැගී තිබීම හේතුවෙන්, දිගුකාලීන එන්නත්කරණ සැලසුමකට අවතීර්ණ වීම සඳහා මෙම තීරණය ගත් බවයි ඕස්ට්‍රේලියානු Department of Health ආයතනය සඳහන් කරන්නේ.



