එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හඳුන්වා දෙන ප්‍රධාන සංශෝධන කිහිපයක් පිළිබඳව කාඩ්පත් හිමියන්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
October 01 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පාරිභෝගිකයින්ගෙන් අමතර ගාස්තු අය කිරීම (surcharges) තහනම් කිරීමට නියමිත අතර, ඊට සමගාමීව බැංකු සහ මුල්‍ය ආයතන විසින් තමන්ගේ රිවෝඩ්ස් වැඩසටහන් (rewards programs) සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම නව වෙනස්කම් හමුවේ St George, Bank of Melbourne, BankSA, Coles, Virgin, NAB, CBA සහ Westpac ඇතුළු ප්‍රධාන කාඩ්පත් රැසක බෝනස් පොයින්ට්ස් (rewards points) සීමා කිරීම, වාර්ෂික ගාස්තු සහ පොලී අනුපාත ඉහළ නැංවීම මෙන්ම නොමිලේ හිමිවූ සංචාරක රක්ෂණ ආවරණ කපා හැරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම St George කාඩ්පත් හිමියන් සඳහා හිමිවූ පොලී රහිත කාලසීමාව (interest-free period) දින 55 සිට 45 දක්වා අඩු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ තමන් දැනට භාවිත කරන ක්‍රෙඩිට් කාඩ්පතින් ලැබෙන සැබෑ වාසිය සහ වැයවන පිරිවැය නැවත ගණනය කර බලන ලෙස මුල්‍ය විශ්ලේෂකයින් පාරිභෝගිකයින්ට උපදෙස් දෙනවා.



