Victoria හි නව අගමැති ලෙස ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, Ben Carroll විසින් Daniel Andrews සහ Jacinta Allan ගෙන් ඈත් වීමට දැඩි උත්සාහයක නිරත වන බවටත්, "ඉතිහාසය නැවත ලිවීමට" ක්‍රියා කරන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

දශකයකට ආසන්න කාලයක් කැබිනට් මණ්ඩලයේ සේවය කර තිබුණද, අගමැති ධුරයට පත්වූ වහාම Jacinta Allan සහ Daniel Andrews ගේ දේශපාලන රටාවෙන් මිදී තමාගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට Carroll මහතා කඩිනම් පියවර ගත්තා.

"මම එක දෙයක් ඉතා පැහැදිලිව කියන්නම්  මම Daniel Andrews නෙවෙයි. මම Jacinta Allan ත් නෙවෙයි. වෙනස් වන කාලයට නව ප්‍රවේශයක් අවශ්‍ය නිසා මම වැඩ කරන්නේ වෙනස්ම විදිහටයි," යනුවෙන් පසුගිය අඟහරුවාදා ඔහු පැවසුවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදුව ඇති දූෂණ සම්බන්ධයෙන් Royal Commission පරීක්ෂණයක් කැඳවන බව නව කම්කරු නායකයා ලෙස ඔහු නිවේදනය කළ අතර, එය මීට පෙර Allan විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද තීරණයක් වීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත්, එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට පෙර Victoria වැසියන් මුළා කිරීම සඳහා සිදුකරන උපක්‍රමයක් ලෙස මෙම ආකල්පමය වෙනස විවේචනයට ලක්ව තිබෙනවා.

Jacinta Allan වික්ටෝරියා ප්‍රාන්තයේ අගමැතිනිය ලෙස සිටියදී Ben Carroll දින දහසකට වැඩි කාලයක් එකම මේසයේ වාඩි විය," ෆෙඩරල් ලිබරල් මන්ත්‍රී ඩෑන් ටෙහාන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙත පැවසීය

Allan මහත්මිය අගමැතිනිය ලෙස කටයුතු කළ වසර දෙකයි මාස දහයක මුළු කාලය පුරාම Carroll මහතා නියෝජ්‍ය අගමැති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සේවය කළා

ඊට පෙර, ඔහු ඩැනියෙල් ඇන්ඩෲස්ගේ නායකත්වය යටතේ රැකියා අමාත්‍ය, බන්ධනාගාර - යොවුන් අධිකරණ හා අපරාධ වැළැක්වීමේ අමාත්‍ය, කර්මාන්ත හා නවෝත්පාදන අමාත්‍ය සහ මාර්ග හා මාර්ග ආරක්ෂණ අමාත්‍ය යන ධුර ගණනාවක්ම හොබවනු ලැබුවා.

"දැන් අපිට පැහැදිලිවම පේන්න තියෙන්නේ ඉතිහාසය නැවත ලියන්න හදන හැටි. ඔහු බලන්නේ කොහොමහරි Jacinta Allan ගෙනුයි Daniel Andrews ගෙනුයි ඈත් වෙන්නයි. හැබැයි මේ මුළු කාලය පුරාම ඔහු සිටියේ පාලනයේ දෙවැනියා විදිහටයි," යනුවෙන් Tehan මහතා වැඩිදුරටත් පැවසුවා. "ඒ නිසා Victoria ප්‍රාන්තය මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයට තමාගේ සම්බන්ධයක් නැති බව අඟවන්න මොන තරම් උපක්‍රම යෙදුවත් එය සාර්ථක වෙන්නේ නෑ."

එමෙන්ම විපක්ෂ නායිකා Jess Wilson ඉතා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරන බවත්, ඉදිරි ප්‍රාන්ත මැතිවරණයේදී ඇය ප්‍රාන්ත අගමැති ධුරයට පත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් Tehan මහතා සඳහන් කළා.

"ප්‍රාන්තයට සහ රටට වඩාත්ම සුදුසු දේ තෝරාගැනීමට ඕස්ට්‍රේලියානු වැසියන්ට හා වික්ටෝරියානු වැසියන්ට හොඳ නුවණක් තියෙනවා. ඒ හොඳම විසඳුම ලිබරල් - ජාතික පක්ෂ සන්ධානයයි. හැබැයි විශේෂයෙන්ම Victoria වල අපිට තව ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න තියෙනවා. Jess Wilson ඒ බව හොඳින්ම දන්නවා. පසුගිය මාස කිහිපය පුරාම ඇය ප්‍රාන්තයේ සෑම මැතිවරණ කොට්ඨාසයකම සංචාරය කරමින්, Victoria වලට අත්‍යවශ්‍ය වී ඇති ඒ යහපත් වෙනස උදාකරන්න කැපවීමෙන් කටයුතු කරනවා," යනුවෙන් ඔහු අවසන් වශයෙන් කියා සිටියා.