Victoria ප්‍රාන්තයේ ඉදිකෙරෙන දත්ත මධ්‍යස්ථාන  සඳහා නව නීතිරීති පැනවීමට මෙරට රජය පියවර ගෙන තිබෙනවා.

නව නීතිවලට අනුව, දත්ත මධ්‍යස්ථාන සඳහා පානීය ජලය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඒවා සඳහා අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් තමන් විසින්ම සපයා ගත යුතු වෙනවා. එමෙන්ම පාසල්, ළමා සුරැකුම් මධ්‍යස්ථාන සහ නවාසික ප්‍රදේශවල සිට මීටර් 150ක අවම පරතරයක් පවත්වා ගැනීම ද අනිවාර්ය කර තිබෙනවා.

දත්ත මධ්‍යස්ථාන මගින් පරිසරයට සහ නාගරික ජනතාවට එල්ල වන බලපෑම් මුල් කරගනිමින් මතුවූ ජනතාවගේ සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ Victoria ප්‍රාන්ත අගමැති Ben Carroll විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මෙම නීති ඉදිරියේදී අලුතින් ඉදිකරන දත්ත මධ්‍යස්ථාන සඳහා පමණක් බලපැවැත්වෙන අතර, දැනට අනුමැතිය හිමිවී ඇති ව්‍යාපෘති සඳහා බලපෑම් එල්ල වන්නේ නැහැ.