Dating apps හරහා හඳුනාගන්නා පුද්ගලයන් ගෙන්වාගෙන දරුණු ලෙස පහරදී, කොල්ලකෑම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු Melbourne හිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු 16 ත් 18 ත් අතර වයස්වල පසුවන මෙම සැකකරුවන් Melbourne හි south-east ප්‍රදේශයේ, විශේෂයෙන්ම Greater Dandenong සහ Dandenong Trail වැනි ජනාකීර්ණ නොවන ස්ථානවලට පුද්ගලයන් ගෙන්වාගෙන මෙම අපරාධ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ඔවුන් වින්දිතයන්ට පහරදී, තර්ජනය කර කොල්ලකෑම් සහ ලිංගික හිංසනයන් සිදුකර තිබෙනවා.
මෙම සිදුවීම් 11 කට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 18 හැවිරිදි Qasim Rahimi නමැත්තා පසුගිය සඳුදා අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔහු තියුණු ආයුධ පෙන්වා පුද්ගලයෙකු කොල්ලකෑමට සහ තවත් අයෙකුට ලිංගික හිංසනය සිදුකිරීමට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
2024 ජනවාරි සිට මේ දක්වා Victoria ප්‍රාන්තය පුරා මෙවැනි සිදුවීම් 113 ක් වාර්තා වී ඇති අතර, ඊට අදාළව සැකකරුවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



