ඩිමෙන්ශියා (Dementia) හෙවත් මතකය අඩපණ වීමේ රෝගය වළක්වා ගැනීමට තනි පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු වැසියන් මෙතෙක් ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ රුධිර පීඩනය පාලනය කිරීම වැනි කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කළද, ඊට බලපාන තවත් ප්‍රධාන සාධක රැසක් මගහැරී ඇති බවයි Curtin University හි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

Lancet වෛද්‍ය සඟරාවේ පළවූ මෙම අධ්‍යයනයට අනුව ඩිමෙන්ශියා රෝගයට බලපාන සාධක 61 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් සමාජීය හා පරිසර සාධක සමඟ සෘජුවම සම්බන්ධ වෙනවා. පර්යේෂණයේ මෙහෙයවීම සිදුකළ Dr Jennifer Dunne සහ Professor Blossom Stephan සඳහන් කරන්නේ කුඩා කල ලබන අධ්‍යාපනය, දෘෂ්‍ය හා ශ්‍රවණ ආබාධ මෙන්ම සමාජයෙන් හුදකලා වීම වැනි කරුණුද මීට ප්‍රධාන වශයෙන් බලපාන බවයි.

විශේෂයෙන්ම විශ්‍රාම යෑමට ආසන්න පුද්ගලයන් සමාජයෙන් හුදකලා වීම තුළින් මානසික විශාදය (Depression) සහ ශාරීරික අක්‍රියතාව වැනි සෞඛ්‍ය ගැටලු රැසක් එකිනෙකට දාමයක් ලෙස මතුවන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. එම නිසා පුද්ගලයන්ට පමණක් වගකීම පවරා නොතබා, සමස්ත සමාජයට සහ පරිසරයට හිතකර ප්‍රතිපත්ති රාජ්‍ය මට්ටමින් සකස් විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුබසාධන ආයතනයේ දත්තවලට අනුව, ඕස්ට්‍රේලියාවේ දැනට ඩිමෙන්ශියා රෝගීන් 4,39,000 ක් පමණ සිටින අතර ඉන් 56% ක්ම කාන්තාවන්. දැනට ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවී ඇත්තේද මෙම රෝගයයි. 2065 වන විට මෙම සංඛ්‍යාව මිලියනය ඉක්මවනු ඇතැයි අනුමාන කෙරෙන අතර, මෙවැනි ජාතික සෞඛ්‍ය අර්බුදයකින් මිදීමට නම් රජය සහ විවිධ සංවිධාන එක්ව හිස ඔසවන මෙම අවදානම පාලනය කිරීමට වහා පියවර ගත යුතු බව Dementia Australia හි ප්‍රධානී Professor Tanya Buchanan වැඩිදුරටත් සඳහන් කළා.