ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා Albanese රජයෙහි විශේෂ පියවරක් ලෙස, Graduate Diploma of Management පාඨමාලාවට නව විදේශීය සිසුන් ඇතුළත් කරගැනීම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නියමිත අධ්‍යාපන අරමුණුවලින් බැහැරව ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට සහ වෙනත් පාඨමාලාවලට මාරුවීමට (Onshore Transfers) ඇතැම් පිරිස් මෙම පාඨමාලාව අයථා ලෙස භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ පාඨමාලාව හදාරන නව විදේශීය සිසුන් ලියාපදිංචි කරගැනීමට VET ආයතනවලට සහ අධ්‍යාපනික නියෝජිතයන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. කෙසේ වෙතත්, මේ වන විටත් එම පාඨමාලාව හදාරමින් සිටින විදේශීය සිසුන්ට තම අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කිරීමට අවස්ථාව පවතින බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

තමන් නියමිත පරිදි උසස් අධ්‍යාපනය ලබාගැනීමට පැමිණෙන විදේශීය සිසුන් නිරන්තරයෙන් සාදරයෙන් පිළිගන්නා අතර, ශිෂ්‍ය වීසා ක්‍රමය අයථා ලෙස භාවිත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජාත්‍යන්තර අධ්‍යාපන සහකාර අමාත්‍ය Julian Hill වැඩිදුරටත් අවධාරණය කළා.