NSW Police සහ Transport for NSW ආයතන එකතුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී Sydney හි Northern Beaches ප්රදේශයෙන් නීතිවිරෝධී E-Bike 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මාර්ග ප්රවාහන පනතට සිදු කළ නව සංශෝධනවලට අනුව පොදු ස්ථානවල ධාවනය කෙරෙන බලපත්ර නොමැති, වෙනස්කම් කරන ලද සහ අධික වේගයෙන් යුත් E-Bike රාජසන්තක කිරීමට සහ විනාශ කිරීමට බලධාරීන්ට අවසර හිමිව තිබෙනවා. ඒ අනුව Manly, Curl Curl, Dee Why සහ Avalon යන ප්රදේශවල සිදුකළ පරීක්ෂාවලදී පැයට කිලෝමීටර 90 කට වඩා වැඩි වේගයකින් ධාවනය කළ හැකි E-Bike එකක් පදවාගෙන ගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගෙන් සහ වෙනස්කම් කරන ලද E-Bike එකක් පැදවූ ආහාර බෙදාහැරීමේ රියදුරෙකුගෙන්ද අදාළ බයිසිකල් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මීට අමතරව ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ධාවනය කිරීම ඇතුළු මාර්ග නීති කැඩූ පුද්ගලයින්ට දඩ කොළ 16 ක් සහ අවවාදාත්මක නිවේදන 46 ක් නිකුත් කිරීමටද පොලිසිය පියවර ගත්තා. E-Bike එකක් යතුරුපැදියක් මෙන් නොව පාපැදියක් මෙන් පැදිය යුතු බවත්, පැයට කිලෝමීටර 25 කට වඩා වැඩි වේගයකින් ධාවනය වන නීතිවිරෝධී බයිසිකල් සඳහා ඉදිරියටත් තදින්ම නීතිය ක්රියාත්මක කරන බවත් බලධාරීන් පවසනවා.



