Queensland හි ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණය යටතේ සිටි ළමුන් මියයාමේ ප්‍රමාණය පසුගිය වසරට වඩා 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව අලුත්ම වාර්තාවකින් හෙළි වනවා. Queensland Family and Child Commission හි වාර්තාවට අනුව 2025–26 මුදල් වර්ෂය තුළ ළමුන් 452 දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඒ අතරින් ළමුන් 91 දෙනෙකුම ළමා ආරක්ෂක පද්ධතියට වාර්තා වී තිබූ අයයි. මෙය පසුගිය වසර පහක කාලය තුළ වාර්තා වූ ඉහළම අගය ලෙසයි සැලකෙන්නේ.
අනතුරු, පෝෂණ ගැටලු සහ ස්වාභාවික හේතූන් මත මෙම මරණ සිදුව ඇති අතර, විශේෂයෙන්ම එළකිරි පමණක් අධික ලෙස පානය කිරීම නිසා සිදුවූ මරණ කිහිපයක් ගැනද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම Aboriginal and Torres Strait Islander පසුබිම සහිත ළමුන් 102 දෙදෙනෙකුගේ මරණද මෙහිදී වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ Labor විපක්ෂ නායක Steven Miles ප්‍රකාශ කළේ, ප්‍රාන්තයේ ළමා ආරක්ෂක පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් Crisafulli රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ළමා ආරක්ෂාව තහවුරු කිරීමට සහ අවදානම් සාධක කලින් හඳුනා ගැනීමට රජය උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි.



