ජනතාව දැඩි ජීවන වියදම් පීඩනයකට මුහුණ දී සිටින අවස්ථාවක, Fiji හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව වෙනුවෙන් ඩොලර් මිලියන 20 ක බදු මුදල් වැය කිරීමට රජය ගත් තීරණය සන්ධානයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම සමුළුව ඕස්ට්‍රේලියාවේ නොපැවැත්වුණද, එහි සංවිධාන කටයුතු සහ නවාතැන් පහසුකම් වෙනුවෙන් මෙලෙස මුදල් වෙන්කිරීම පූර්ණ අපතේ යැවීමක් බවයි විපක්ෂ නීති ප්‍රකාශිකා Michaelia Cash පවසන්නේ. ජනතාව විදුලි බිල සහ ගෘහස්ථ වියදම් පියවා ගැනීමට අපහසුතාවයෙන් පසුවෙද්දී, Labor රජය මෙලෙස සුඛෝපභෝගී සංචාර සඳහා මුදල් නාස්ති කරන බවට ඇය චෝදනා කළා.

කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවාස කටයුතු අමාත්‍ය Clare O’Neil සඳහන් කළේ, රටේ අනාගතය වෙනුවෙන් මෙවැනි දේශගුණික සාකච්ඡාවල මූලිකත්වය ගැනීම ඕස්ට්‍රේලියාවට ඉතා තීරණාත්මක බවයි. ඉදිරියේදී සිදුවිය හැකි ස්වාභාවික ආපදා සහ කෘෂිකර්මාන්තයට වන බලපෑම් අවම කරගැනීමට මෙම එකඟතාවන් වැදගත් වන බවද ඇය පෙන්වා දුන්නා.

එමෙන්ම, බලශක්ති අමාත්‍ය Chris Bowen විසින් මෙයට ඇමරිකාව, චීනය සහ බ්‍රිතාන්‍යය වැනි ප්‍රධාන රටවල නායකයින්ට ආරාධනා කර ඇති නමුත්, ඔවුන්ගේ සහභාගීත්වය තවමත් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.