ඕස්ට්‍රේලියාවේ Geelong ප්‍රදේශයේ පැවැත්වූ විශේෂ මාර්ග ආරක්ෂණ මෙහෙයුමකදී වාහනයක් පරීක්ෂාවට ලක්කිරීමෙන් විශාල මත්ද්‍රව්‍ය තොගයක්, නීතිවිරෝධී ආයුධ සහ ඩොලර් 11,000ක මුදලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Operation Lockdown නමින් පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා Road Policing Drug and Alcohol Section, State Highway Patrol, Geelong Highway Patrol සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් එක්ව සිටියා.
සිකුරාදා රාත්‍රී 11:30ට පමණ Drumcondra හි The Esplanade ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ VW Tiguan වර්ගයේ රථයක් පරීක්ෂා කිරීමේදී, Norlane හි පදිංචි 35 හැවිරිදි රියදුරා මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව තහවුරු වුණා. පසුව කළ සෝදිසියකදී එම වාහනයේ තිබී liquid amphetamine, methamphetamine, heroin සහ ecstasy ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක්, නීතිවිරෝධී ආයුධ 10ක්, සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩොලර් 11,000ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් වුණා. චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම සෙනසුරාදා රාත්‍රියේ Belmont හි Latrobe Terrace හිදී පොලිස් පරීක්ෂාවෙන් බේරීමට රියදුරු අසුන මාරු කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකුද පොලිස් බාරයට ගෙන තිබෙනවා. එහිදී Bell Park හි පදිංචි 22 හැවිරිදි පූර්ව රියදුරුවරිය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව තහවුරු වීම නිසා ඇගේ රියදුරු බලපත්‍රය මාස 14කට තහනම් කර ඩොලර් 889ක දඩයක් නියම කෙරුණා. අනෙක් තැනැත්තියට රියදුරු බලපත්‍රයක් නොතිබූ අතර, ඇයට එරෙහිවද අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් අදාළ වාහනය දින 30ක කාලයකට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම Operation Lockdown මෙහෙයුම අතරතුර සිදුකළ පරීක්ෂණ 4,300කට අධික සංඛ්‍යාවෙන් අධික වේගය, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කිරීම් 153ක් වාර්තා වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළදීත් මෙවැනි විශේෂ පරීක්ෂණ මෙහෙයුම් දිගටම සිදුකරන බවයි Victoria Police වැඩිදුරටත් සඳහන් කරන්නේ.



