ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ Coles සුපිරි වෙළඳසැල් ජාලය සහ NSW පොලීසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් Apple gift card ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වරදකරු කර තිබෙනවා.

Taiwan ජාතිකයෙකු වන මෙම 32 හැවිරිදි පුද්ගලයා, Sydney සහ ඊට ආසන්න ප්‍රදේශවල සුපිරි වෙළඳසැල්වල ඇති Apple gift card හොර රහසේ රැගෙන ගොස්, ඒවායේ රහස් අංක (codes) සොරකම් කර නැවත වෙළඳසැල්වල රාක්ක වෙත තබා ඇති බවයි සඳහන් වන්නේ. පාරිභෝගිකයින් එම කාඩ්පත් මිලදී ගෙන මුදල් තැන්පත් කළ සැනින්, ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් එම මුදල් ලබාගැනීම මෙම ජාවාරමේ ස්වභාවයයි.

CCTV දර්ශන සහ දුරකථන දත්ත ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ Campsie පොලිස් ප්‍රදේශීය ඒකකයේ නිලධාරීන්, Eastwood හි පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කර ඩොලර් 10,000කට වඩා වටිනා කාඩ්පත් 61ක් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය හමුවේ වරදකරු වූ ඔහුට මාස 15ක පෙනහිටවූ සිරදඬුවමක් නියම වුණා.

මෙම gift card ජාවාරම චීනය, ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාප්ත වූ මහා පරිමාණ අපරාධ ජාලයක කොටසක් බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මෙවැනි වංචාවන් වැළැක්වීම සඳහා වෙළඳසැල්, පොලිසිය මෙන්ම gift card නිෂ්පාදන සමාගම්ද එක්ව කටයුතු කළ යුතු බව Coles ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.