ඕස්ට්‍රේලියාව තුළ බර අඩු කරගැනීමේ GLP-1 ඖෂධ භාවිතයේ දැවැන්ත වර්ධනයත් සමඟ, වෛද්‍ය නිර්දේශවලින් තොරව නීති විරෝධී ලෙස මෙම ඖෂධ අලෙවි කිරීමේ ජාවාරමක් බිහිවෙමින් පවතින බව පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
වෛද්‍ය නිර්දේශ ලබාගැනීමට ඇති අපහසුව නිසා ඇතැම් ඕස්ට්‍රේලියානුවන් තායිලන්තය වැනි රටවල රූපලාවන්‍ය සායන මඟින් සෞඛ්‍ය පරීක්ෂාවකින් තොරව මෙම ඖෂධ ලබාගැනීමට පෙළඹෙන අතර, සමාජ මාධ්‍ය ජාලා සහ ෆේස්බුක් සමූහ ඔස්සේද කිසිදු බලපත්‍රයකින් තොරව මේවා අලෙවි කෙරෙනවා. Melbourne හි අලෙවිකරුවෙකු තායිලන්තයෙන් ගෙන්වූ 5mg Mounjaro ඖෂධ මාත්‍රාවක් ඩොලර් 750 වැනි අධික මිලකට අලෙවි කරන බව පරීක්ෂණයේදී අනාවරණය වුණා.
ඊටත් වඩා භයානක තත්ත්වය වන්නේ 'Retatrutide' වැනි ඕස්ට්‍රේලියාවේ අනුමත නොකළ, පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධද මෙලෙස අලෙවි වීමයි. Victoria ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙවැනි අනුමත නොකළ ඖෂධ භාවිතය නිසා අක්මාවට දැඩි හානි සිදු වූ රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බවයි. Therapeutic Goods Administration ආයතනය අවධාරණය කරන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ අනුමත ඖෂධසැලකින් තොරව ඖෂධ ලබාගැනීමෙන් වළකින ලෙසයි.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය හරහා මෙම ඖෂධ ශරීරයේ බර අඩු කරගැනීමේ "ලෙහෙසි ක්‍රමයක්" ලෙස ප්‍රචාරය කළද, නිසි සෞඛ්‍ය උපදෙස් නොමැතිව භාවිත කිරීමෙන් අධික කරකැවිල්ල, වමනය, විෂාදය ඇතුළු දැඩි මානසික සහ ශාරීරික සංකූලතා ඇතිවිය හැකි බවයි.



