ACT සහ NSW ප්‍රදේශවල වැඩිහිටි රැකවරණ සේවා සපයන Goodwin Aged Care Services ආයතනය විසින් එහි සේවකයන් 335 දෙනෙකු සඳහා හිඟ වේතන ලෙස ඩොලර් මිලියන 1.39කට වැඩි මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.
Fair Work Ombudsman (FWO) ආයතනය සමඟ ඇති කරගත් එකඟතාවයකට අනුව මෙම ගෙවීම් සිදු කෙරෙන අතර, 2018 ජූලි සිට 2025 මාර්තු දක්වා කාලය තුළ මෙම අඩුවෙන් වේතන ගෙවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. බලපෑමට ලක්වූ සේවකයන්ගෙන් වැඩි පිරිසක් ACT හි සේවය කළ විදේශීය සහ වීසා හිමිකරුවන් වන අතර, හෙදියන්, ආහාර සම්පාදන සහ පරිපාලන කාර්ය මණ්ඩල ද ඊට ඇතුළත්.
සේවකයන්ට හිමිවිය යුතු රාත්‍රී සේවා මුර සඳහා අමතර ගෙවීම් (penalty rates) නිසි ලෙස සිදු නොවීම සහ සේවා ගිවිසුම්වල පැවති අඩුපාඩු මෙම හිඟ වේතන තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. Goodwin සමාගම සඳහන් කරන්නේ අදාළ සේවකයන්ට හිඟ මුදල් ගෙවීමට කටයුතු කර ඇති අතර, සිදුවූ වැරදි සම්බන්ධයෙන් කණගාටුව පල කරමින් ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවීමට පියවර ගෙන ඇති බවයි.



