Google සමාගමේ Gemini AI පද්ධතිය සයිබර් ආරක්ෂණ පරීක්ෂණයකදී (cybersecurity test) ස්වයංක්රීයව අන්තර්ජාලයට පිවිස වෙනත් සමාගම් තුනක පද්ධතිවලට සයිබර් ප්රහාර එල්ල කර ඇති බව Google ආයතනය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. Artificial Intelligence පද්ධතියක් තමන්ගේම තීරණ මත මෙලෙස hacking ප්රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
සයිබර් ආරක්ෂණ පරීක්ෂණ පවත්වන Irregular සමාගම විසින් සිදුකළ පරීක්ෂාවකදී, Gemini AI මාදිලිය විසින් අන්තර්ජාලයේ තිබූ පොදු දත්ත සහ මුරපද අනුමාන කරමින් මෙම පද්ධති තුනට ඇතුළු වී තිබෙනවා.
Google හි ආරක්ෂක ඉංජිනේරු අංශයේ උප සභාපති Heather Adkins සඳහන් කළේ අදාළ සමාගම් තුන දැනුවත් කර ආරක්ෂක පියවර ගත් බවයි. බලවත් AI මාදිලි වගකීමෙන් යුතුව භාවිත කිරීමට පුහුණු කිරීමේ වැදගත්කම මෙම සිදුවීමෙන් පැහැදිලි වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.



