GST බෙදාහැරීමේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අතුරු වාර්තාව නිකුත් කිරීමත් සමඟ මතුවූ දේශපාලන විවේචන හමුවේ ඕස්ට්‍රේලියානු නිෂ්පාදනශීලීතා කොමිෂන් සභාව තම ආයතනික ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.

2018 දී සිදුකළ භාණ්ඩ හා සේවා බදු (GST) සංශෝධන හේතුවෙන් බදු ගෙවන්නන්ගේ ඩොලර් බිලියන 23 කට ආසන්න මුදලක් අපතේ ගොස් ඇති බවත්, එයින් වාසි ලබා ඇත්තේ Western Australia ප්‍රාන්තය පමණක් බවත් එම වාර්තාවේ සඳහන් වුණා.

මෙම වාර්තාවට එරෙහිව අදහස් දක්වමින් බටහිර ඕස්ට්‍රේලියානු අගමැති Roger Cook විසින් වාර්තාකරුවන් "නැගෙනහිර වෙරළේ විකටයන්" ලෙස හඳුන්වා දුන් අතර, අගමැති Anthony Albaneseද එම නිගමන විවේචනය කළා.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොමිෂන් සභා කොමසාරිස් Angela Jackson සඳහන් කළේ, මහජන සංවාද පිළිගන්නා නමුත්, දේශපාලඥයන් තම ආයතනයේ අපක්ෂපාතීත්වයට සහ ස්වාධීනත්වයට ප්‍රහාර එල්ල කිරීම මගින් සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි

තමන් කිසිදු දේශපාලන බලපෑමකට යටත් නොවී ස්වාධීනව කටයුතු කරන බවත්, ඉදිරි ප්‍රතිපෝෂණ මත පදනම්ව වාර්තාවේ අවසන් නිර්දේශ සකස් කරන බවත් නිෂ්පාදනශීලීතා කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරනවා.