Menopause කාල සීමාවේදී කාන්තාවන් මුහුණ දෙන Brain fog එනම් මතකය සහ අවධානය අඩුවීමේ තත්ත්වයට පිළියමක් ලෙස Creatine නමැති පෝෂක අතිරේකය භාවිතා කළ හැකිදැයි පර්යේෂකයන් මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

කාන්තාවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුට පමණ ආර්තවහරණ සමයේදී ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වෙනස් වීම නිසා මෙම මානසික වෙහෙස සහ මන්දගාමී බව ඇතිවිය හැකියි. එමගින් සිතීමේ හැකියාව සහ මතකය අඩාල වන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

සාමාන්‍යයෙන් ක්‍රීඩා සහ පේශි වර්ධනය සඳහා බහුලව භාවිත වන Creatine මගින් මොළයේ ශක්ති නිෂ්පාදනයට සහය දක්වමින් මෙම රෝග ලක්ෂණ පාලනය කළ හැකිදැයි පරීක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ MENACOG අධ්‍යයනය මගින් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 45 ත් 65 ත් අතර ආර්තවහරණය වූ කාන්තාවන් මේ සඳහා යොදා ගැනීමට නියමිතයි.

මෙය ඉතා පහසුවෙන් ලබාගත හැකි, අඩු වියදම් මෙන්ම හෝමෝන නොවන විසඳුමක් වනු ඇති බවයි වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂිකා Lauren Dewsbury සඳහන් කළේ.

මේ අතර නිසි නින්ද, ව්‍යායාම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සහ ක්‍රියාකාරී මනසක් පවත්වා ගැනීම මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීමට වඩාත් හොඳම පියවර බව සංජානන ස්නායු විශේෂඥ වෛද්‍ය සහකාර මහාචාර්ය Emma Devaney වැඩිදුරටත් අවධාරණය කළා.