ෆෙඩරල් රජය විසින් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහන කප්පාදු කිරීමට පියවර ගැනීමත් සමඟ, ඕස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් මිලියන ගණනක් දැඩි කෝපයට පත්ව සිටින බව අලුත්ම මත විමසුම්වලින් හෙළි වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මිලියන 4.4 කට පමණ බලපාන මෙම තීරණය හේතුවෙන්, රජය අපේක්ෂා කළාට වඩා වැඩි පිරිසක් දැඩි අසීරුතාවයට පත්වීමේ අවදානමක් පවතින බවයි අදාළ ක්ෂේත්‍රයේ පාර්ශවයන් අනතුරු අඟවන්නේ.

ලබන වසරේ සිට වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිස් සඳහා හිමිවන සෞඛ්‍ය රක්ෂණ සහන අනුපාතය, ඒ හා සමාන ආදායම් ලබන අනෙකුත් ජනතාවගේ මට්ටමටම පහත දැමුවහොත්, තමන්ගේ රක්ෂණ ආවරණය අත්හැර දැමීමට සිදුවන බව වයස 65 ට වැඩි පුද්ගලයින් 1,505 දෙනෙකු යොදාගනිමින් RedBridge ආයතනය පැවැත්වූ සමීක්ෂණයකදී 39% ක පිරිසක් පවසා තිබෙනවා.

Private Healthcare Australia හි ප්‍රධාන විධායක නිලධාරිනී Dr. Rachel David සඳහන් කළේ, රජය ඇස්තමේන්තු කළ 44,000 කට වඩා වැඩි විශාල පිරිසක් මෙම පියවර නිසා පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ අත්හැරීමට ඉඩ ඇති බවයි.

"රජයේ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් මෙතරම් දැඩි කෝපයක් මම මීට පෙර කිසිම දිනෙක දැක නැහැ. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්නේ දැඩි කළකිරීමකින්. දශක ගණනාවක් තිස්සේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් මුදල් වෙන් කළ ඔවුන්ට, ඒ ආවරණය වඩාත්ම අවශ්‍ය වන මහලු වියේදී, වසරකට තවත් අමතර මුදලක් ගෙවන්න කියලා රජය බල කරනවා."

එමෙන්ම Council on the Ageing Australia ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුවද, ඔවුන්ගේ සාමාජිකයින් 40,000 න් 33% කට වැඩි පිරිසක් තමන්ගේ රක්ෂණ ආවරණ මට්ටම අඩු කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සැලසුම් කරමින් සිටිනවා.

මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විශාල සංඛ්‍යාවක් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් ඉවත් වීම නිසා රජයේ රෝහල් පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වනු ඇතැයි බියක් මතුව තිබෙනවා. COTA හි ප්‍රධාන විධායක නිලධාරිනී Patricia Sparrow පැවසුවේ, පෞද්ගලික අංශයෙන් ඉවත් වන පිරිස නිසා ඇතිවන සෞඛ්‍ය ඉල්ලුම අතුරුදහන් නොවන අතර, එම සියලුදෙනා රාජ්‍ය රෝහල් වෙත යොමු වීමෙන් ප්‍රතිකාර සඳහා බලා සිටීමේ කාලය තවත් දීර්ඝ වනු ඇති බවයි.

2027 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨයින්ට හිමිවන ඉහළ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනය, සාමාන්‍ය ජනතාවට හිමිවන අනුපාතයටම අඩු කිරීමටයි රජය සැලසුම් කරන්නේ. එමඟින් ඉතිරි වන ඩොලර් බිලියන 11 ක මුදල වැඩිහිටි සුරැකුම් සේවා සඳහා යෙදවීමට රජය අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, RedBridge මත විමසුමට අනුව, මෙමඟින් සාධාරණත්වයක් ඉෂ්ට වේද යන්න පිළිබඳව බොහෝ දෙනා සැක පහළ කරනවා. Dr. David වැඩිදුරටත් පෙන්වා දුන්නේ, තමන්ගේ දරුවන් හදාගන්න ගමන් වයස්ගත දෙමාපියන්වත් බලාගන්නා මැද වයසේ පිරිස්, දෙමාපියන්ගේ රක්ෂණ ආවරණය නැතිවීමට ඉඩ නොදී ඒ සඳහා තමන්ම මුදල් ගෙවීමට සිදුවේ යැයි කනස්සල්ලෙන් පසුවන බවයි.

විපක්ෂයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශිකා Anne Ruston චෝදනා කළේ, ලේබර් පක්ෂයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler විසින් මේ හරහා සිදුවන හානිය දැඩි ලෙස අවතක්සේරු කර ඇති බවයි.

ස්ථාවර විශ්‍රාම වැටුපකින් ජීවත්වන ජ්‍යෙෂ්ඨයින්ට මෙවැනි මිල ඉහළ යෑමකට මුහුණ දීමට නොහැකි බවත්, පාර්ලිමේන්තුවේදී මෙම යෝජනාවට එරෙහිව සටන් කරන බවත් ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම මේ පිළිබඳව සොයා බැලීමට සෙනෙට් සභා විමර්ශනයක්ද කැඳවා තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කළේ, මෙම තීරණය සැමගේ අනුමැතියට ලක් නොවූවත් මෙය සිදු කළ යුතුම නිවැරදි පියවර බවයි. වයස 65 ට වැඩි පිරිසකට පමණක් වැඩි සහන අනුපාතයක් ලබා දීම පරම්පරා අතර සාධාරණත්වයක් නොවන බවත්, බදු ගෙවන්නන්ගේ මුදල් වැඩිහිටි සුරැකුම් ක්ෂේත්‍රය වෙනුවෙන් යෙදවීම වඩාත් ප්‍රතිඵලදායක බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.