Sydney හි පදිංචි Jen සහ Andy Goodwin යුවලගේ වසරක් වයසැති දියණිය වූ Esther ට සිදුකළ අක්මා බද්ධ කිරීමකින් පසු ඇයට Hepatitis C වෛරසය ආසාදනය වී ඇති බව හෙළිදරව් වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ළමයෙකුට බද්ධ කළ අක්මාවක් හරහා මෙවැනි වෛරසයක් ආසාදනය වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.
දැනට 7 වන වියේ පසුවන Esther උපතින්ම biliary atresia නම් රෝගයෙන් පෙළුණු අතර, 2020 වසරේදී ඇයට මෙම අක්මා බද්ධය සිදුකර තිබුණා. කෙසේ වෙතත්, Royal Prince Alfred හිදී සිදුකළ සම්මත පරීක්ෂණවලදී අදාළ Hepatitis C වෛරසය හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳව දෙමාපියන් දැඩි කනගාටුව සහ කෝපය පළ කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන Sydney Children’s Hospitals Network ආයතනය Goodwin පවුලෙන් නිල වශයෙන් සමාව අයැද සිටියා. ඔවුන් පෙන්වා දෙන්නේ අවයව බද්ධ කිරීමේදී වෛරස හඳුනා නොගැනීමේ ඉතා කුඩා අවදානමක් පවතින බවයි.
මාස 6 ක දැඩි ප්‍රතිකාරවලින් පසු 2021 වසරේදී Esther ගෙන් වෛරසය ඉවත් වුවද, ඉන් සිදු වූ හානිය නිසා මෙවසරේදී ඇයට දෙවන අක්මා බද්ධයද සිදු කිරීමට සිදු වුණා. වසර ගණනාවක් තිස්සේ නොකඩවා රෝහල් ගතවීම් සහ සැත්කම් නිසා දැඩි මානසික සහ මූල්‍යමය පීඩාවකට ලක්ව සිටින මෙම පවුල වෙනුවෙන්, මේ වන විට GoFundMe හරහා ආධාර අරමුදලක්ද ආරම්භ කර තිබෙනවා.


