ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ පඩියක් සහිත රැකියාවක නිරත වීමට ඇති ඉඩකඩ පිළිබඳව තොරතුරු අනාවරණය වනවා. Seek ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, තාක්ෂණික සහ Trade ක්ෂේත්‍රයේ රැකියා රැසක් සඳහා වසරකට ඩොලර් ලක්ෂයකට වඩා වැඩි ඉහළ වැටුප් හිමිවන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම Construction, Mining, Resources සහ Energy යන ක්ෂේත්‍රවල මෙලෙස වැටුප් වේගයෙන් ඉහළ යමින් පවතින අතර, තස්මේනියා හී වැටුප් වර්ධනය 5.6% ක් ලෙස සටහන් වෙද්දී, New South Wales හි එය 4.3% ක් ලෙස සටහන් වෙනවා. Heavy Diesel Fitter, Automotive Electrician, Construction Site Manager, Electrician සහ Aircraft Maintenance Engineer වැනි රැකියා මේ අතර ඉහළම වැටුප් ලබන තනතුරු ලෙස හඳුනාගෙන තිබෙනවා.

Seek ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ Blair Chapman පෙන්වා දෙන්නේ මේ සඳහා විශ්වවිද්‍යාල උපාධියක් අවශ්‍ය නොවූවද, විධිමත් ප්‍රායෝගික පුහුණුව, විශේෂිත දක්ෂතාවය සහ සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය වන බවයි. විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ නිවාස ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් මෙවැනි තාක්ෂණික ශිල්පීන් සහ කළමනාකරුවන් සඳහා පවතින ඉල්ලුම සීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා.