ඕස්ට්‍රේලියාවේ කුලී පදනම මත ජීවත්වන ජනතාවට තමන්ගේම කියා නිවසක් මිලදී ගැනීමට පවතින 'තැන්පතු මුදල්' බාධකය ඉවත් කිරීම සඳහා Coposit ආයතනය විසින් 'Unrent' නමින් නව වැඩසටහනක් ලබන ඔක්තෝබර් මාසයේදී හඳුන්වාදීමට සූදානම් වනවා.
මෙම ක්‍රමය යටතේ සුදුසුකම් ලබන ගෙවන්නන්ට නව නිවසකට පදිංචියට ගොස්, පළමු වසර තුළ ගෙවන සතිපතා කුලී මුදල 100%ක්ම නිවසේ තැන්පතු මුදල ලෙස එකතු කර ගැනීමට අවස්ථාව හිමිවෙනවා. වසර අවසානයේදී ඔවුන් අදාළ මිලදී ගැනීම සම්පූර්ණ කළ යුතු අතර Sydney, Newcastle සහ ACT ප්‍රදේශවල නිවාස මේ සඳහා යොදා ගැනීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රමය සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මූල්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා. වසරකට පසු බැංකු ණය ලබා ගැනීමට නොහැකි වුවහොත් හෝ වෙළඳපොළ වටිනාකම් වෙනස් වුවහොත් ගැනුම්කරුවන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්විය හැකි බැවින්, මෙවැනි ගිවිසුම්වලට එළඹීමට පෙර නිසි නීතිමය සහ මූල්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.



