ප්‍රධාන පොලී අනුපාතය 0.25% කින් ඉහළ නැංවීමත් සමඟම ඕස්ට්‍රේලියාවේ නිවාස මිලදී ගැනීම් වහාම 5% කින් පහත වැටෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
University of Sydney හි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය මඟින් සිදුකළ මෙම පර්යේෂණයට අනුව, පොලී අනුපාත වැඩිවීමත් සමඟ නිවාස මිලදී ගැනීමේ හැකියාව වසර දෙකක් දක්වා අඩු මට්ටමක පවතින බව සඳහන්. මෙයින් වඩාත්ම බලපෑමට ලක්වන්නේ අඩු ආදායම්ලාභී තරුණ පවුල් බවයි එම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂක James Graham පෙන්වා දෙන්නේ. පොලී අනුපාත ඉහළ යාම නිසා ආදායම් අඩුවී, නිවාස තැන්පතු සඳහා වෙන්කර ඇති ඉතිරිකිරීම් වැය කිරීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මේ අතර, එළඹෙන අඟහරුවාදා ඔස්ට්‍රේලියානු මහ බැංකුව විසින් නිල පොලී අනුපාතය තවත් 0.25% කින් ඉහළ දමනු ඇති බවට ආර්ථික විශේෂඥයින් වැඩිදෙනෙක් අනාවැකි පළකරනවා. එසේ වුවහොත්, සාමාන්‍ය ඩොලර් 736,000 ක නිවාස ණය මුදලක් ලබාගෙන ඇති පවුලකට මසකට ගෙවිය යුතු වාරිකය තවත් ඩොලර් සිය ගණනකින් ඉහළ යනු ඇති.



