The Royal Melbourne Hospital ආයතනය විශේෂඥ වෛද්‍ය හමුවීම් සීමිත උපනගර කිහිපයක පදිංචිකරුවන්ට පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍යවරුන් අතර දැඩි විරෝධයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රෝගීන්ගේ පැමිණීම අධික ලෙස ඉහළ යාම නිසා Merri-bek, Moonee Valley සහ Melbourne යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් මෙලෙස විශේෂඥ සේවාවන් ලබාදීමට තීරණය කළ බව රෝහල් බලධාරීන් පවසනවා. කෙසේ වෙතත්, හදිසි සහ තුවාලකාරී ප්‍රතිකාර සේවාවන් සමස්ත ප්‍රාන්තයටම බාධාවකින් තොරව ලබාදෙන බවද රෝහල සඳහන් කළා.
මෙම තීරණයට විරෝධය පාමින් රාජකීය ඕස්ට්‍රේලියානු සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පෙන්වා දෙන්නේ, තැපැල් අංකය පදනම් කරගනිමින් රෝගීන් ප්‍රතික්ෂේප කිරීම සාධාරණ නොවන බවයි. මෙමගින් ග්‍රාමීය සහ පිටත උපනගරවල වෙසෙන ජනතාවට අත්‍යවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරනවා.



