ඕස්ට්‍රේලියාව තුළ පවතින අධික නිවාස මිල හමුවේ, වසර 40 ක දීර්ඝ කාලීන නිවාස ණය පහසුකම් ලබාදීමට එරට බැංකු සහ මුල්‍ය ආයතන වැඩි වශයෙන් යොමු වෙමින් පවතිනවා.

සාමාන්‍යයෙන් පැවති වසර 30 ක ණය කාලසීමාව වෙනුවට වසර 40 ක් දක්වා කාලය දීර්ඝ කිරීම මගින් මාසික වාරික මුදල යම් ප්‍රමාණයකින් අඩු වුවද, ණය කාලසීමාව අවසන් වන විට අතිවිශාල පොලී මුදලක් ගෙවීමට සිදු වන බවයි මූල්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

උදාහරණයක් ලෙස ඩොලර් 600,000 ක ණය මුදලක් සඳහා වසර 40 ක කාලයක් ලබාගැනීමේදී, මාසික වාරිකය ඩොලර් 288 කින් පමණ අඩු වුවත්, සමස්ත ණය කාලසීමාව තුළ ඩොලර් 275,000 ක අමතර පොලියක් ගෙවීමට සිදු වන බව Canstar ආයතනයේ දත්ත අනාවරණය කරනවා. විශේෂයෙන්ම ආධුනික නිවාස මිලදී ගන්නන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ක්‍රමය, දීර්ඝ කාලීනව මූල්‍යමය වශයෙන් දැඩි අවදානමක් විය හැකි බවටයි මූල්‍ය විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.