ඇමරිකා එක්සත් ජනපදයේ Idaho හි Twin Falls හි පිහිටි In-N-Out Burger ආපනශාලාවේ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සෙනසුරාදා පස්වරු 2.30 ට පමණ Blue Lakes Boulevard North හි පිහිටි මෙම ආපනශාලාවේදී අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් සහිත පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානය ආසන්නයේ සිය ගණනක පිරිසක් රැඳී සිට තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද මියගොස් ඇති බව Twin Falls Police ප්‍රධානී, Matthew Hicks තහවුරු කර සිටි අතර, ප්‍රජාවට පැවැති තර්ජනය මේ වන විට පහව ගොස් ඇති බවද ඔහු සඳහන් කළා. තුවාල ලැබූ පිරිස ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා FBI ආයතනය ද සහාය දක්වන අතර, සිදුවීම සම්බන්ධයෙන් දැඩි කම්පනය සහ ශෝකය පළකරමින් In-N-Out Burger සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Denny Warnick සඳහන් කළේ විමර්ශන සඳහා බලධාරීන්ට පූර්ණ සහාය ලබාදෙන බවයි.