Indonesia හි Mount Anak Krakatau ගිනිකන්ද පුපුරා යාමෙන් හටගත් අළු වළාකුළු හේතුවෙන් ගුවන්තොටුපළ කිහිපයක් වසා දැමීමට සිදුවීම නිසා ඕස්ට්‍රේලියානුවන් ඇතුළු මගීන් 170,000 කට ආසන්න පිරිසක් අසීරුතාවට පත්ව සිටිනවා.

Soekarno Hatta International ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළ 8 ක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති අතර, Qantas සහ Singapore Airlines සමාගම් විසින් Jakarta දක්වා ක්‍රියාත්මක වන ගුවන්ගමන් රැසක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ නිවෙස් වෙත පැමිණීමට නොහැකිව අසරණ වී සිටින ඕස්ට්‍රේලියානු සංචාරකයින් පවසන්නේ, ගුවන් සමාගම් මඟින් පූර්ණ තොරතුරු ලබාදීම දැනට අත්හිටුවා ඇති බවයි.

ගිනිකඳු අළු අහසට අඩි 50,000 ක් පමණ උසට පැතිර යමින් පවතින බැවින් ගුවන්ගමන් යථා තත්ත්වයට පත්කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව Indonesia ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා. එබැවින් අදාළ ප්‍රදේශවල සිටින ඕස්ට්‍රේලියානුවන්ට තමන්ගේ ගුවන්ගමන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි Australia හි Department of Foreign Affairs and Trade (DFAT) ආයතනය දැනුම් දෙන්නේ.