Victoria හි හිටපු ප්‍රාන්ත අගමැති වන Jacinta Allan, එළඹෙන නොවැම්බර් මාසයේ ප්‍රාන්ත මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

වත්මන් ප්‍රාන්ත අගමැති වන Ben Carroll ගෙන් එල්ල වූ අභියෝගය හමුවේ පසුගිය ජූලි 28 වන දා ඇයට ප්‍රාන්ත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. ඇයගේ උපන්ගම වන Bendigo හි පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, වසර 27 ක තමාගේ දේශපාලන ජීවිතය තුළ Bendigo East ආසනයේ සහ Victoria හි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට හැකි වූ බවයි.

1999 වසරේදී වයස අවුරුදු 25 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ Jacinta Allan, Victoria පාර්ලිමේන්තු ඉතිහාසයේ තේරී පත් වූ ලාබාලතම කාන්තා මන්ත්‍රීවරිය ලෙසයි ඉතිහාසයට එක්වුණේ. 2023 සැප්තැම්බර් මාසයේදී Daniel Andrews ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇය Victoria හි 49 වන ප්‍රාන්ත අගමැති ලෙස ධුරයේ වැඩ භාරගත්තා.

ඇයගේ සේවය අගය කරමින් වත්මන් ප්‍රාන්ත අගමැති  Ben Carroll ප්‍රකාශ කළේ, Bendigo හි නව රෝහල, පාසල් සහ යටිතල පහසුකම් දියුණු කරමින් ප්‍රදේශයේ දැවැන්ත පුනරුදයක් ඇති කිරීමට Jacinta Allan කැපවීමෙන් කටයුතු කළ බවයි.