ජේම්ස් කුක් විශ්වවිද්‍යාලය (James Cook University - JCU) විසින් සිය ට්‍රයිමෙස්ටර් (Trimester) ක්‍රමය යටතේ පාඨමාලා හදාරන සිසුන් සඳහා වෙන් කර තිබූ අධ්‍යයන සතිය (Study Week / SWOTVAC) ඉදිරි අධ්‍යයන කැලැන්ඩරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. සිසුන්ගේ සහ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ දැඩි විරෝධය හමුවේ පාලනාධිකාරිය මෙම පියවර ගෙන තිබෙනවා.

North Queensland පදනම් කරගත් මෙම විශ්වවිද්‍යාලය විසින් 2027 වසරේ අධ්‍යයන කැලැන්ඩරය සකස් කිරීමේදී සිසුන්ගේ පූර්ව විමසීමකින් තොරව මෙම තීරණය ගෙන තිබූ අතර, ඊට එරෙහිව සිසුහු දැඩි අප්‍රසාදය පළ කළා. විභාග සඳහා සූදානම් වීමට ඇති එකම කෙටි විවේකය අහෝසි කිරීම සාධාරණ නොවන බව Townsville ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ (James Cook University - JCU) ඉගෙනුම ලබන ජාත්‍යන්තර ශිෂ්‍යාවක් වන Sona Sojan සහ ඉංජිනේරු ශිෂ්‍යාවක් වන Michelle De Faveri පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන JCU බලධාරීන් සඳහන් කරන්නේ, සිසුන්ගේ චෝදනා සහ ගැටලු පිළිබඳව පාලනාධිකාරියේ අවධානය යොමු වී ඇති බවත්, අවසන් තීරණයකට එළඹීමට පෙර සිසුන්ගේ අදහස් සෘජුව ලබා ගැනීමට කටයුතු කරන බවත්ය.

මීට අමතරව, ඉදිරියේදී විද්‍යා හා ඉංජිනේරු පාඨමාලාවල සම්ප්‍රදායික දේශන (Traditional Lectures) සීමා කර කුඩා කණ්ඩායම් මුහුණට මුහුණ හමුවන සාකච්ඡාමය පන්ති පැවැත්වීමටද විශ්වවිද්‍යාලය යෝජනා කර ඇත.

කෙසේ වෙතත්, ජාතික තෘතීයික අධ්‍යාපන සංගමය (NTEU) නියෝජනය කරන, JCU අධ්‍යාපන හා කළා පීඨයේ මහාචාර්ය Simon Foale පෙන්වා දෙන්නේ අධ්‍යයන සතිය අහෝසි කිරීම සහ සෘජු දේශන සීමා කිරීම මගින් සිසුන්ට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන අධ්‍යාපනික සහයෝගය අඩුවී ඔවුන්ගේ සමස්ත අධ්‍යයන අත්දැකීමට සෘණාත්මක බලපෑමක් එල්ල විය හැකි බවයි.