Kmart සමාගම ඕස්ට්‍රේලියානු ඩොලර් 89 වැනි අඩු මුදලකට Anko smart glasses නිකුත් කිරීමත් සමඟ, ජනතාවගේ පෞද්ගලිකත්වයට එල්ල වන තර්ජන පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. අන් අයගේ දැනුවත්භාවයකින් තොරව වීඩියෝ පටිගත කළ හැකි මෙම පැළඳිය හැකි කැමරා තාක්ෂණය  සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත්ද යන්න පිළිබඳව රජය සොයා බලනවා.

ඕස්ට්‍රේලියානු ඩොලර් 400ත් 800ත් අතර මිලකට අලෙවි වන Meta smart glasses වලට වඩා ඉතා අඩු මුදලකට මෙම smart glasses ලබාගත හැකි වීම නිසා කාන්තාවන්ට සහ ළමයින්ට නොදැනුවත්ව සිදුවන පටිගත කිරීම්, හිරිහැර කිරීම් සහ නිරීක්ෂණය කිරීම් වැඩිවිය හැකි බවටයි බලධාරීන් සහ සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවන්නේ. මේ හේතුවෙන් Attorney-General Michelle Rowland විසින් ඕස්ට්‍රේලියාවේ Privacy Commissioner වෙත උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳ පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසයි.

මේ අතර, මෙවැනි smart glasses අසල තිබේදැයි හඳුනාගෙන දැනුම් දිය හැකි 'Nearby Glasses' සහ 'Anti-Zuck' වැනි නොමිලේ ලබාගත හැකි නව මෘදුකාංග යෙදවුම්ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.