රුසියාව විසින් Kyiv නගරයට එල්ල කළ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් 4 දෙනෙකුද සිටින බවයි යුක්රේන රාජ්‍ය හදිසි සේවාව සඳහන් කරන්නේ.

Kyiv හි Darnytsky district හි සිදුවූ ප්‍රහාරවලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, Solomiansky district හිදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එහිදී මහල් 5 ක ‌නේවාසික ගොඩනැගිල්ලකටද දැඩි හානි සිදුව තිබෙනවා.

මෙම ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය Kyiv නගරය බව පැවසූ යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy, රුසියාව විසින් මිසයිල 35 ක් සහ ඩ්‍රෝන යානා 185 ක් එල්ල කළ බව ප්‍රකාශ කළා. US Patriot පද්ධති සඳහා අවශ්‍ය interceptors හිඟකම නිසා රුසියාව එල්ල කළ බැලස්ටික් මිසයිල 27 න් එකක් පමණක් විනාශ කිරීමට හැකිවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, යුක්රේනය වෙත Patriot මිසයිල නිෂ්පාදනය සඳහා බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉතා ප්‍රවේශම් විය යුතු බව ඇමරිකා එක්සත් ජනපද‌යේ ජනාධිපති Donald Trump ප්‍රකාශ කර තිබෙනවා. එසේම යුක්රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා 274 ක් විනාශ කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.