ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස හිඟයට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙලට Labor රජයේ නව බදු යෝජනා දැඩි බාධාවක් බව Housing Industry Association ආයතනය පවසනවා.

2028 ජූලි පළමුවනදා සිට Discretionary Trusts සඳහා 30% ක අවම බද්දක් පැනවීමට ෆෙඩරල් රජය යෝජනා කර ඇති අතර, මෙමගින් නව නිවාස ඉදිකිරීමේ පිරිවැය ඉහළ ගොස් නිවාස ඉදිකිරීම් අඩාල විය හැකි බවටයි Property Council of Australia ආයතනයද තර්ක කරන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් HIA ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා Jocelyn Martin සඳහන් කළේ, ඕස්ට්‍රේලියාවේ පවුල් මට්ටමින් පවත්වාගෙන යන බොහොමයක් ඉදිකිරීම් සමාගම් පවත්වාගෙන යන්නේ මෙම Discretionary Trusts ක්‍රමය යටතේ බවයි. එම නිසා රජයේ මෙම තීරණය හේතුවෙන් නිවාස ඉදිකිරීම වෙනුවට ව්‍යාපාරික ව්‍යුහයන් වෙනස් කිරීමට සහ නීතිමය කටයුතුවලට අමතර මුදලක් වැය කිරීමට සිදු වන බව ඇය පෙන්වා දෙනවා.

රජය නිවාස ලක්ෂ 12 ක් ඉදිකිරීමේ National Housing Accord ඉලක්කයෙන් දැනටමත් පසුපසින් සිටින පසුබිමක, මෙවැනි බදු පැනවීම් හමුවේ එම ඉලක්ක සපිරීම තවදුරටත් අභියෝගයක් වනු ඇති බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.