Labor රජය මගින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සුදූ ක්‍රීඩා සංශෝධන පනත පවතින ස්වරූපයෙන් සම්මත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඒ, Coalition පක්ෂය, Greens සහ Independent සෙනෙට් මන්ත්‍රීවරුන් මෙම පනත ප්‍රමාණවත් නොවන බව පවසමින් ඊට එරෙහිව අත්වැල් බැඳගැනීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් පැවැති සෙනෙට් කාරක සභා විමර්ශනයේදී සූදුව නිසා ජනතාව මුහුණදෙන දැඩි සමාජයීය හා මූල්‍යමය බලපෑම් පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. මෙම පනත මගින් පාරිභෝගිකයින්ව සූදුවට තවදුරටත් පොළඹවන 'inducements' හෙවත් විශේෂ බෝනස් දීමනා තහනම් කිරීමට පියවර ගෙන නොමැති බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.

Shadow communications minister වන Sarah Henderson සඳහන් කළේ, පනත තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Coalition පක්ෂය ඉදිරියේදී සංශෝධන ගෙන එන බවයි. Greens පක්ෂයේ Sarah Hanson-Young සහ Independent සෙනෙට් මන්ත්‍රී David Pocock ද ප්‍රකාශ කළේ සූදු ප්‍රචාරණය සහ මෙලෙස පෙළඹවීම් ඇති කරන දීමනා සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කෙරෙන ඕනෑම සංශෝධනයකට තමන් සහාය දක්වන බවයි.

කෙසේ වෙතත්, Communications Minister වන Anika Wells පවසන්නේ මෙම ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රමාද නොකර ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව බවයි.