රජය පවසන්නේ, පවතින නිවාස ප්‍රතිපත්තිවල සෘජු ප්‍රතිඵලයක් ලෙස නිවාස මිල ගණන් පහත වැටෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, දේපළ වෙළෙඳපොළේ මෙම පහත වැටීම Labor මන්ත්‍රීවරුන් එයට පක්ෂව අදහස් දැක්වීම විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
Sydney හි දේපළ අලෙවියක් සම්බන්ධයෙන් Labor මන්ත්‍රී Jerome Laxale තැබූ සටහනක් සමගින් මෙම දේශපාලන සංවාදය තවත් උණුසුම් වුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ, වත්මන් වෙළෙඳපොළ තත්ත්වය ප්‍රථම වරට නිවාස මිලදී ගන්නන්ට වඩාත් යහපත් එකක් බවයි. වාස කටයුතු පිළිබඳ අමාත්‍ය Tanya Plibersek ද මීට පෙර කියා සිටියේ, ප්‍රථම නිවාස හිමියන්ට මෙය ඉතා සුදුසු කාලයක් බවයි.
ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කළේ, බදු සහන ලබන ආයෝජකයින් වෙනුවට ප්‍රථම නිවාස හිමියන්ට වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබාදීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.
කෙසේ වෙතත්, නියෝජ්‍ය විපක්ෂ නායිකා Jane Hume ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, නිවාස මිල පහත වැටීම සැමරීමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් නොවන බවයි. Labor රජය යටතේ සිදු වූ පොලී අනුපාත ඉහළ යාම් සහ බදු ඉහළ නැංවීම් හේතුවෙන් ජනතාවට නිවසක් මිලදී ගැනීම තවත් අභියෝගයක් වී ඇති බව ඇය පෙන්වා දුන්නා.
මේ අතර, 5% ක පූර්ව තැන්පතු ක්‍රමය යටතේ විදේශයන්හි දේපළ හිමි පිරිස් වෙත ද මෙම සහනය හිමිවීමේ ඉඩකඩක් පවතින බවට මතුව ඇති චෝදනා සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර විවාදයක් මතුව තිබෙනවා. බදු ගෙවන්නන්ගේ මුදල් අවභාවිත වන බවට විපක්ෂය චෝදනා කරන අතර, රජය පවසන්නේ අයදුම්කරුවන්ගේ සමස්ත වත්කම් පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් මෙම සහනය ලබාදෙන බවයි.



