Sydney හි Coogee Beach හිදී මෝර ප්‍රහාරයකට ලක්වූ Leah Stewart, සිය සුවපත්වීමේ ගමන පිළිබඳව සංවේදී සහ බලාපොරොත්තු සහගත පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය ජූනි 13 වනදා සිදු වූ මෙම අනතුරෙන් පසු ඇගේ එක් අතක් කපා ඉවත් කිරීමට සිදු වූ අතර, අධික ලෙස රුධිරය පිටවීම සහ ශරීරයේ ඇති වූ බිඳීම් හේතුවෙන් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. ඇය වෙනුවෙන් ආරම්භ කළ අරමුදලට ඩොලර් 558,925 ක මුදලක් ලැබී ඇති අතර, තමන්ට ලැබුණු ආධාර ඉදිරි ප්‍රතිකාර සහ ජීවිතය ගොඩනැගීමට ප්‍රමාණවත් බැවින් එම අරමුදලට මුදල් ලබාගැනීම නවතා දැමීමට ඇය පියවර ගෙන තිබෙනවා.

ලොව පුරා ජනතාවගෙන් ලැබුණු ආදරය සහ සහයෝගයට කෘතඥතාව පළ කරමින් 34 හැවිරිදි මෙම ගුරුවරිය සඳහන් කළේ, තමන්ට ජීවිතයේ දෙවන අවස්ථාවක් ලැබී ඇති බවත්, එය කිසිසේත් අපතේ නොයවන බවත්ය. එමෙන්ම ජනතාව දැක්වූ මෙම සහයෝගය තමන් තුළ වෛරයක් නොව, ඉක්මනින් සුවපත් වීමේ දැඩි උද්‍යෝගයක් ඇති කළ බවද ඇය වැඩිදුරටත් පැවසුවා