Melbourne හි inner west හි පිහිටි ජිම් සහ සටන් කලා මධ්‍යස්ථානයකට ඊයේ රාත්‍රියේ එල්ල වූ ගිනි තැබීමේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් Victoria පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ අලුයම 12:30 ට පමණ Hampstead Road, Maidstone හි පිහිටි Genesis Health Club ගොඩනැගිල්ලේ මහජනතාවට භීතියක් ඇති කරමින් විශාල ගින්නක් හටගෙන ඇති අතර, Fire Rescue Victoria කණ්ඩායම් මිනිත්තු 7 ක් ඇතුළත එම ස්ථානයට ළඟා වී තිබෙනවා. පැයක පමණ මෙහෙයුමකින් පසු ගින්න පාලනය කිරීමට ඔවුන් සමත් වූවත්, තෙමහල් ගොඩනැගිල්ලට සහ එහි වූ jiu-jitsu සටන් කලා මධ්‍යස්ථානයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ කිසිවෙකුත් සිට නැහැ.

සැකකරුවන් සිද්ධිය වූ ස්ථානයෙන් පලාගොස් ඇති අතර, මෙය ඉලක්කගතව සිදුකළ ප්‍රහාරයක් ලෙස සලකා Victoria පොලිසිය පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. මෙම සිදුවීම හේතුවෙන් ඊට යාබදව පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානය ද අද දිනයේ වසා දැමීමට සිදුවූ අතර, එමගින් පවුල් 100 කට වැඩි සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබෙනවා.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ Taylors Lakes හි පිහිටි Genesis Health Club හිමිකාරීත්වය දරන තවත් ජිම් එකකට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරයෙන් පසු දින දෙකක් ඇතුළත එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි. යම් සැකකටයුතු තොරතුරක් හෝ වීඩියෝ දර්ශන ඇත්නම් වහාම 1800 333 000 අංකය ඔස්සේ CrimeStoppers වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.