මෙල්බර්න් හි පිහිටි නිවසකට හදිසි වෛද්‍ය කණ්ඩායමක් පැමිණීම පැය තුනකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා, 98 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
Hoppers Crossing ප්‍රදේශයේ පිහිටි නිවසේදී මෙම කාන්තාව ඇද වැටීමකට ලක්ව ඇත්තේ සිකුරාදා අලුයම 5ට ආසන්න වේලාවකදීයි. එම අවස්ථාවේදී ඇය සතුව තිබූ personal alarm උපාංගය මගින් ස්වයංක්‍රීයව 'Triple-0' හදිසි සේවා අංකයට ඇමතුමක් ගොස් තිබූ අතර, ඇය වේදනාවෙන් කෑගසන ශබ්දයද ඇමතුම් ක්‍රියාකරුවන්ට ඇසී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ හදිසි ඇමතුම ලැබුණද වෛද්‍ය කණ්ඩායම එම ස්ථානයට පැමිණ තිබෙන්නේ උදෑසන 7.30ත් පසුවී බවයි වාර්තා වන්නේ. නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිටියා.
අනතුරු ඇඟවීම ලැබුණු වහාම Ambulance Victoria ආයතනයට ඒ පිළිබඳව දැනුම් දුන් බව 'Triple-0' සේවාව තහවුරු කර තිබෙනවා. රාත්‍රී කාලයේදී තම හදිසි වෛද්‍ය කණ්ඩායම් සාමාන්‍යයට වඩා කාර්යබහුලව සිටීම නිසා සේවා ජාලය පුරා මෙලෙස ප්‍රමාදයන් සිදු වූ බවයි Ambulance Victoria ආයතනය පවසන්නේ.
එසේම, මෙම සිදුවීම 'code three' එනම් හදිසි නොවන කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබූ බවද එම ආයතනය පිළිගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර සමාලෝචනයක් සිදුකරන බව Ambulance Victoria හි ප්‍රධාන විධායක නිලධාරී Jordan Emery සඳහන් කළා. ඇද වැටීම්වලට ලක්වන රෝගීන් සඳහා 'code three' ප්‍රතිචාරයක් ලබා දීම සාමාන්‍ය දෙයක් වුවත්, මෙහිදී අදාළ වර්ගීකරණය නිවැරදිව සිදුවූවාද යන්න පිළිබඳව පරීක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර, සිදුවීම වන අවස්ථාවේදී අදාළ කාන්තාවගේ හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත යුතු පුද්ගලයින් වෙත දැනුම් දීමට අපොහොසත් වීම නිසා personal alarm සේවාව සපයන සමාගමටද දැඩි විවේචන එල්ලවෙමින් පවතිනවා.
තමන් අදාළ ලැයිස්තුවේ සිටියද කිසිදු දැනුම්දීමක් නොලැබුණු බවයි ඇයගේ අසල්වැසියෙකු වන Jill Sheridan පැවසුවේ.
පොලිසිය විසින් මේ වන විට මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.



