දියවැඩියා රෝගීන්ගේ අත්පා අහිමිවීම වළක්වා ගත හැකි, ලොව ප්‍රථම AI තාක්ෂණික උපකරණයක් ඕස්ට්‍රේලියාවේ Melbourne හි පර්යේෂකයින් පිරිසක් විසින් නිර්මාණය කර තිබෙනවා.

කුඩා කැමරාවක් සහිත මෙම උපකරණය මගින් දියවැඩියා රෝගීන්ගේ පාදවල ඇතිවන තුවාල, මිනිස් ඇසට නොපෙනෙන උෂ්ණත්ව වෙනස්කම් සහ සමේ ස්වභාවය ඔස්සේ පරීක්ෂා කරනු ලබනවා. එමගින් තුවාලයක් සුව විය හැකිද නැද්ද යන්න පළමු වෛද්‍ය පරීක්ෂණයේදීම නිවැරදිව අනාවැකි පළ කිරීමට හැකියාව පවතින බවයි පර්යේෂකයින් පවසන්නේ.

තුවාලයක් උත්සන්න වී අත්පා ඉවත් කිරීමට සිදුවීමට පෙර, වැඩි අවදානමක් සහිත රෝගීන් හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මෙමගින් වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනවා.

මෙම තාක්ෂණය දැනට Victoria හි සායන කිහිපයක පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා TGA අනුමැතිය ලබා ගැනීමට පර්යේෂකයින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. විශේඥ වෛද්‍ය පහසුකම් නොමැති දුරස්ථ ප්‍රදේශවල සිටින රෝගීන්ටද, කිසිදු විශේෂ පුහුණුවකින් තොරව ඕනෑම සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි මෙම උපකරණය මගින් විශාල සේවයක් ඉටුවනු ඇති බවයි පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.