මේ මාසයේ Melbourne North ප්‍රදේශයේ සිදු වූ මෝටර් රථ පැහැරගැනීම් කිහිපයකට සම්බන්ධයෙන් නවයොවුන් වියේ පසුවන පිරිසකට පොලිසිය විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
ජූලි 22 සිට 28 දක්වා කාලය තුළ සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කරමින්, වයස අවුරුදු 15 ත් 17 ත් අතර පසුවන පිරිමි ළමුන් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි Victoria පොලිසිය සඳහන් කරන්නේ.
මෙම වැටලීම් අතරතුරදී සොරකම් කළ බවට සැකකෙරෙන වාහනයක් මෙන්ම මත්ද්‍රව්‍ය, Taser, නිසි ලෙස ගබඩා කර නොතිබූ ගිනි අවියක්, Peptides සහ Steroids ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බරපතල ගණයේ මෝටර් රථ පැහැරගැනීම්, සාමාන්‍ය මෝටර් රථ පැහැරගැනීම්ගිනි අවි භාවිතය, කලහකාරී ලෙස හැසිරීම සහ හිතාමතාම තුවාල සිදුකිරීම ඇතුළු වැරදි 61 ක් සම්බන්ධයෙන් මෙලෙස මෙම තරුණයින්ට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ July 1 සිට 10 දක්වා කාලය තුළ Melbourne හි උතුරු ප්‍රදේශ වන Coburg, Fawkner, Hadfield, Campbellfield, Mickleham සහ Wallan යන ප්‍රදේශවල සිදු වූ බව කියන මෝටර් රථ පැහැරගැනීම් 18 ක මාලාවකින් පසුවයි.
අත්අඩංගුවට ගත් තරුණයින් සියලු දෙනාම මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, ඉදිරියේදී ඔවුන් ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


