Melbourne හි ශීඝ්‍රයෙන් වර්ධනය වන බාහිර බස්නාහිර කලාපයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් ලෙස Western Freeway මහා මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 550 ක මුදලක් වෙන් කිරීමට Labor පක්ෂය පොරොන්දු වී තිබෙනවා. ඒ, ඉදිරි ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්.

මෙම ව්‍යාපෘතිය යටතේ Melton සහ Caroline Springs අතර කොටස සංවර්ධනය කෙරෙන අතර, මෙයට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය රජය මගින් ලබාදුන් ඩොලර් බිලියනයක මුදලට අමතරවයි මෙම නව ප්‍රතිපාදන එක්වන්නේ.

මෙම සැලසුම යටතේ Ferris මාර්ගය, Leakes මාර්ගය සහ Hopkins මාර්ග හුවමාරු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීමට නියමිතයි. එමෙන්ම Mount Cottrell මාර්ගයේ නව අර්ධ හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා.

මෙමගින් 30km ක අලුත් මංතීරු එකතු වන අතර, දෙපසටම මංතීරු 4 බැගින් පුළුල් කෙරෙනු ඇති. එමෙන්ම එම සමස්ත කොටස පුරාම පැයට  100km ක වේග සීමාවක් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි ප්‍රාන්ත අගමැති Ben Carroll සඳහන් කළේ.

වසරකට  6.61% ක ශීඝ්‍ර ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන Melton City Council බලප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට සහ යටිතල පහසුකම් හිඟයට විසඳුම් ලෙස ප්‍රධාන මාර්ග හා දුම්රිය ස්ථාන සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා.