මෙල්බර්න් හි ඉදිකිරීම් භූමි ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වූ CFMEU වෘත්තීය සමිති නියෝජිතයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන Taskforce Hawk පොලිස් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

බ්‍රහස්පතින්දා උදෑසන Mulgrave, Heathmont සහ Fitzroy යන ප්‍රදේශවල සිදුකළ මෙම විශේෂ වැටලීමේදී Mulgrave හි පදිංචි 35 හැවිරිදි ප්‍රධාන සැකකරු ඇතුළුව 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 27 හැවිරිදි කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තැපැල් මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ඇනබොලික් ස්ටෙරොයිඩ් (anabolic steroids) ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය මෙල්බන් හි ඉදිකිරීම් භූමි තුළ අලෙවි කිරීම මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. සැකකරුවන් රැඳී සිටි ස්ථාන පරීක්ෂා කිරීමේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක්, රහසිගත ආයුධ, විද්‍යුත් උපකරණ සහ විශාල මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් දෙදෙනා ලබන ජනවාරි මාසයේදී Melbourne මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කාන්තාව ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.