Melbourne හි south-east ප්‍රදේශයේ Gym ආශ්‍රිතව සිදුවන රථවාහන සොරකම් ඉහළ යාම හමුවේ, වැඩි අවධානයකින් පසුවන ලෙස Victoria පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය මාස කිහිපය තුළ Dandenong, Casey, සහ Cardinia ඇතුළු ප්‍රදේශ රැසක Gymවලින් පමණක් වාහන 250කට ආසන්න සංඛ්‍යාවක් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ. සාමාජිකයන් නොවන නව යොවුන් වියේ පසුවන පිරිස් රහසිගතව මෙම ස්ථානවලට ඇතුළු වී, අනාරක්ෂිතව තබා ඇති බෑග්වලින් වාහන යතුරු සොරාගෙන මෙම මංකොල්ලකෑම් සිදුකර තිබෙනවා. මෙලෙස සොරාගන්නා වාහන වෙනත් බරපතළ අපරාධ සඳහා භාවිත කරන බව තහවුරු වී ඇති අතර, සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 15, 16 සහ 17 වියැති යෞවනයන් පිරිසක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එබැවින් Gym වෙත යන ජනතාව තම වාහන යතුරු සහ වටිනා දෑ ආරක්ෂිත Lockers තුළ පමණක් තබන ලෙසත්, ආලෝකය සහිත ස්ථානවල වාහන නවත්වා තබන ලෙසත් Victoria පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙනවා.