Melbourne හි පිහිටි Lovitt Technologies නැමැති ආරක්ෂක උපකරණ නිෂ්පාදනාගාරයට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති බව Victorian Joint Counter Terrorism Team ආයතනය සඳහන් කරනවා. පවතින පාලනයට එරෙහි සහ විප්ලවවාදී මතවාදයන්ගෙන් පෙළඹුණු අන්තවාදීන් පිරිසක් මීට සම්බන්ධදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2025 ජූලි 5 වනදා අලුයම Greensborough හි පිහිටි මෙම ආයතනයට කඩා වැදී දේපළවලට හානි කර, පරිශ්‍රයේ තිබූ වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර, ඊට සම්බන්ධ සැකකරුවන්ගේ අලුත්ම ඡායාරූපද JCTT ආයතනය මගින් නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අන්තවාදී කණ්ඩායමක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් එක්කර ඇති අතර, Australian Defence Force හි සැපයුම් ජාලයට මෙම ආයතනය සම්බන්ධ බවට වූ මතය සහ පලස්තීන හිතවාදී අදහස් පදනම් කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බවටයි පැවසෙන්නේ.
ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව සිදුකරන මෙම පරීක්ෂණවලදී, අදාළ චෝදනාවලට වරදකරුවන් වුවහොත් සැකකරුවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවීමේ ඉඩකඩ පවතිනවා. සිදුවීම වන අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ රථවාහනවල Dashcam දර්ශන පවතින්නේ නම් හෝ සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



