Melbourne හි Eastlink අධිවේගී මාර්ගයේදී පැහැරගත් බවට සැකකෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.
අද අලුයම 2.10 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් පසු, රථයේ සිරවී සිටි Pakenham ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පිරිමි ළමයා ඉවතට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. රථයේ ගමන් කළ Clayton හි 21 හැවිරිදි තරුණයෙකු සහ Silvan හි 18 හැවිරිදි තරුණියකද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 9.20 ට පමණ Bentleigh හි පිහිටි නිවසකට කඩාවැදී 44 හැවිරිදි කාන්තාවකට පිහියකින් තර්ජනය කර මෙම සුදු පැහැති Porsche රථය පැහැරගෙන ඇති බවයි Victoria පොලීසිය සඳහන් කරන්නේ.
අනතුරුව අධික වේගයෙන් ධාවනය වූ මෙම රථය ලුහුබැඳීමට පොලිසිය කටයුතු කළා. නමුත් රථයේ ලයිට් නිවා දමා විරුද්ධ දිශාවෙන් පැමිණි වාහන දෙසට ධාවනය කිරීම නිසා පොලිසිය ලුහුබැඳීම නතර කර තිබෙනවා. පසුව එම රථය Van රථයක ගැටීමෙන් අනතුර සිදුවූ අතර, 51 හැවිරිදි එහි රියදුරාටද සුළු තුවාල සිදුවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මේ පිළිබඳ යම් තොරතුරක් හෝ Dashcam දර්ශන ඇත්නම් CrimeStoppers හි 1800 333 000 අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



