Melbourne ප්‍රදේශයේ වෙළඳසැල් ඉදිරිපිට "Commission එකට කතා කරන්න" යනුවෙන් සටහන් තබා සිදුකරන ගිනි තැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.
විදේශයක සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලියක උපදෙස් මත මොහු මෙම අපරාධ සිදුකර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. Melbourne සහ Victoria ප්‍රදේශවල වෙළඳසැල් 19 කට ආසන්න සංඛ්‍යාවකට මෙලෙස තර්ජනාත්මක සටහන් තබා ඇති අතර, Richmond හි Victoria Street හි පිහිටි දුම්කොළ වෙළඳසැලකට ගිනි තබා ඇත්තේද මෙලෙස තර්ජනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් Moonee Valley ප්‍රදේශයේ පිහිටි අදාළ සැකකාර තරුණයාගේ නිවස සෝදිසි කළ පොලිසිය, එහි තිබී ජංගම දුරකථන 8 ක් සහ SIM කාඩ්පත් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණයාට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ව්‍යාජ මුදල් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා ඇති අතර, ඔහු ඉදිරියේදී ළමා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම අපරාධ කල්ලිය මගින් රාත්‍රී සමාජශාලා සහ ආපනශාලා ඉලක්ක කරගනිමින් සිදුකරන ගිනි තැබීම් සහ කප්පම් ගැනීම් සෙවීම සඳහා පොලිසිය Operation Eclipse නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ක්ෂණිකව මුදල් සෙවීමේ අරමුණින් සහ encrypted මෘදුකාංග කෙරෙහි විශ්වාසය තබමින් තරුණ පිරිස් මෙවැනි බරපතල අපරාධ සඳහා යොමුවන බවයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ.



