සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාවේ සිට විදේශයන්හි සිටින තම පවුල් වෙත මුදල් යැවීම සම්බන්ධයෙන් මෙරට තුළ අලුත් කතාබහක් මතුව තිබෙනවා.

සංක්‍රමණ විරෝධී පිරිස් චෝදනා කරන්නේ, මෙලෙස වසරකට ඩොලර් බිලියන ගණනින් පිටරටවලට මුදල් යැවීම නිසා ඕස්ට්‍රේලියාවේ දේශීය ආර්ථිකයට ලැබෙන ආදායම අහිමි වන බවයි. Money Transfer Australia වාර්තාවකට අනුව 2024 වසරේදී පමණක් ඩොලර් බිලියන 35ක මුදලක් ඕස්ට්‍රේලියාවෙන් පිටරටවලට යවා ඇති අතර, ඉන් ඩොලර් බිලියන 7ක්ම යවා ඇත්තේ ඉන්දියාව වෙතයි.

කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම චෝදනා පදනම් විරහිත බවයි. Australian National University හි සහකාර මහාචාර්ය Ryan Edwards සඳහන් කරන්නේ, සංක්‍රමණිකයින් යවන මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ සමස්ත ආර්ථිකයෙන් 1%කටත් වඩා අඩු බවත්, එම මුදල් සඳහා වන බදු මුදල් දැනටමත් ඔස්ට්‍රේලියානු රජයට ගෙවා ඇති බවත්ය. එමෙන්ම සංක්‍රමණිකයින් මෙරට තුළ රැකියා කරමින්, බදු ගෙවමින් සහ පරිභෝජනය කරමින් ලබාදෙන ආර්ථික දායකත්වය මීට වඩා බෙහෙවින් වැඩි බවද ඔහු පෙන්වා දෙනවා.

දකුණු ආසියාතික සහ ආසියාතික සංස්කෘතීන් තුළ විදේශගතව සිටින දරුවන් විසින් සිය දෙමාපියන්ගේ වෛද්‍ය සහ ජීවන වියදම් සඳහා මුදල් යැවීම සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙසද සැලකෙනවා.