ඕස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති දැඩි සේවක හිඟයට කඩිනම් විසඳුමක් ලෙස, සංචාරක සේවක වීසා අනුමත කිරීම වේගවත් කිරීම සඳහා ජාතික ගොවි සම්මේලනයසහ ෆෙඩරල් රජය අතර හදිසි එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් පසුගිය සතියේදී සංචාරක සේවක වීසා සඳහා සීමාවන් පැනවීමත් සමඟ, ප්‍රාදේශීය ප්‍රදේශවල අස්වනු නෙළීමේ කටයුතු සඳහා සේවකයන් නොමැති වීමේ බරපතල අවදානමක් මතු වුණා. පසුගිය අගෝස්තු මාසයේ සිට වීසා සැකසීමේ කටයුතු මන්දගාමී වීම නිසා සංචාරක සේවකයන් දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ රජය ඉක්මනින් ක්‍රියාත්මක වීම අගය කරන බව NFF ප්‍රධාන විධායක නිලධාරී Michael Guerin පවසනවා. අත්‍යවශ්‍යම වීසා අයදුම්පත් පමණක් තෝරාගෙන ඒවා ක්ෂණිකව අනුමත කිරීමට රජය එකඟ වී ඇති අතර, Department of Home Affairs ආයතනය සමඟ එක්ව ඉදිරි මාස 3 ඇතුළත ගොවිපළ සේවාවන් සඳහා පැමිණෙන විදේශිකයන්ගේ වීසා කටයුතු කඩිනම් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙය තාවකාලික විසඳුමක් පමණක් බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට සහ සංක්‍රමණ ක්‍රමවේදවල පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා දිගුකාලීන විසඳුම් අවශ්‍යව ඇති බවත් NFF ආයතනය තවදුරටත් පෙන්වා දෙනවා.



