Victoria ප්‍රාන්තයේ Mildura Base Public Hospital හි කඩදාසිවල සටහන් කළ රෝගී යොමු කිරීමේ ලේඛන අඩංගු පෙට්ටි කිහිපයක් අමතක වීම හේතුවෙන් රෝගීන් 150 කට ආසන්න පිරිසකට වසරකට වැඩි කාලයක් ප්‍රතිකාර අහිමි වී ඇති අතර, ඉන් එක් රෝගියෙකු මියගොස් ඇති බවට විපක්ෂ සෞඛ්‍ය අමාත්‍ය Georgie Crozier චෝදනා කරනවා.
තාක්ෂණික ක්‍රමවේද වෙනුවට තවමත් කඩදාසි මත පදනම් වූ පැරණි ලේඛන ක්‍රමයක් භාවිත කිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. රෝහලේ පවතින මෙම ක්‍රමවේදය අතිශය අනතුරුදායක බවත්, නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීමට එමගින් බාධා සිදු වන බවත් එහි සේවය කරන වෛද්‍ය සිසුන් පවා පෙන්වා දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රෝහල් බලධාරීන් සඳහන් කළේ, මෙම අඩුපාඩුව හඳුනා ගැනීමෙන් පසු ඒ පිළිබඳව Safer Care Victoria ආයතනය දැනුවත් කර විමර්ශන ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත්, මෙම බරපතල අතපසුවීම සම්බන්ධයෙන් වහාම විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්ත රජයට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.



