මාරාන්තික Mushroom ආහාර වේලක් ලබාදී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 51 හැවිරිදි Erin Patterson ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීමේ දෙවන සහ අවසන් දිනය අද ආරම්භ වුණා.

2023 වසරේදී සිය සැමියාගේ ඥාතීන්ට death cap නම් මාරාන්තික mushroom වර්ගය එකතු කළ beef wellingtons ආහාර වේලක් ලබා දී මෙම ඝාතන සිදුකළ බවටයි ඇයට චෝදනා එල්ල වුණේ. මෙයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එක් අයෙකු දිවි ගැලවුණා.

අද දින අධිකරණ වාරයේදී චෝදනා පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ Jeremy McWilliams, විත්තිකාරියගේ නිවසේ තිබී හමු වූ mushroom ඡායාරූප ඇතුළත් SD card එක සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කරුණු දක්වනු ලැබුවා.

Erin Patterson වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම පවසන්නේ විනිශ්චය සභාව නඩු විභාගය අතරතුර පොලිසිය සහ මාධ්‍යවේදීන් රැඳී සිටි හෝටලයේම නවාතැන් ගැනීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම නඩු තීන්දුව සාධාරණ නොවන බවයි.

කෙසේ වෙතත්, වසර 33 ක ඇප හිමිකම් රහිත ජීවිතාන්ත සිරදඬුවමක් විඳින Patterson හට කිසිදු ඇප හිමිකමක් ලබා නොදෙන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම තහවුරු කරන ලෙසයි රජයේ පාර්ශ්වයද අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.